බොහොමයක් ගල් ගුහා ප්‍රවාහන මාර්ගයක් විදියට භාවිතා වුනා කියනවනේ, ඒකෙනුත් වළගම්භා රජ දවස දකුණු ඉන්දියානූ ආක්‍රමණ හමුවේ තම සිංහල සේනා සංවිධානය කරන්න පහු බැහපු වළගම්භා රජ්ජුරුවෝ මේ ගොඩක් ගුහා මාර්ග හැදුවයි කියනවා. ඒවා බොහොමයක් මුඛරියෙන් එන සිද්දී. ඒ වගේම කියනවා, කාලයත් එක්ක වැහිල තිබිලා වළගම්භා රජු තමුන්ගේ සහ සේනාවන්හී ප්‍රවාහන අවශ්‍යතා වලට මේ ගුහා මාර්ග ප්‍රතිසංස්කරණය කරා කියලත් කියනවා.
වළගම්භා රජ්ජුරුවන්ට ආයෙත් රෙනවේට් කරන්න මේ ගල් ගුහා හැදෙන්නේ රාවණා කාලේ ඉදන් කියලයි කියන්නේ.කොටින්ම ස්ව්භාවික හැදිච්ච ගුහා මාර්ග රාවණා කාලයෙදී වැඩි දියුණු කරලා ප්‍රවාහන අවශ්‍යතා වලට යොදා ගත්තා කියලා කියවෙනවා. හැබැයි ඒ කතාන්දර ඔක්කොමත් කටින් කට එන සිද්දි මිසක් ලියවෙච්චි දේවල් නෙමේ. මොනවා උනත් අධ්‍යනය කරද්දී තේරෙනවා මේ ගල් ගුහා මාර්ග රටේ නොයෙකුත් තැන් සම්බන්ධ කරලා තියෙනවා කියලා. විශේෂයෙන් ඌවේ, වැල්ලවාය, ඇල්ල, දෝව, හල්පේ, බෝගොඩ, බදුල්ල, වැලිමඩ එකිනෙකට සම්බන්ධ වෙලා කියන්න අදටත් සාක්ෂි තියෙනවා. ඉන් එහාට බෝගොඩ්, දෝවේඅ නුවරත් එක්ක යා වෙච්ච ගුහා මර්ගයක්, හුන්නස්ගිරිය ඉදන් මතලෙ බෝවතැන්නට ගුහා මාර්ගයක් තිබිලත් කියලා කියනවා. ඒවා නම් දැන් වැහිලා. උදේ පාන්දරම හුන්නස්ගිරියේ රජගල නැග්ගාම අර එහෙ ඉදන් බෝවතැන්නට යනවැයි කියන ගුහා මාර්ගයේ කියලා හිතෙන පාරක් විදියට මීදුම් පාරක් මැවෙනවා කියනවා. ඒක වෙන්න පුළුවන් සිද්දියක්.
එතකොට මේ තියෙන්නෙ ඒ කාලේ ගිහින් බලන්න පුළුවන් ගුහා තුනක්.
1. ඇල්ලේ රාවණා ලෙන් පුරාණ රජමහා විහාරය
2. කරදගොල්ල (ඇල්ල, නිල්දිය පොකුණ ) රාවණා ගුහාව
3. වැලිමඩ, ඌව පරණගම ස්ත්රීපුර කන්ද ගුහාව
1. ඇල්ලේ රාවණා ලෙන් පුරාණ රජමහා විහාරය
මේකේ ඇල්ලේ රාවණා ගුහාව කියලා එකක් තියෙනවා ඇල්ල රාවණා ලෙන් පන්සලේ. (ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරේ ඉදන් රාවණා ඇල්ලට කිලෝ මීටර් දෙකක් වගේ යද්දී දකුණු පැත්තට ). මේක කාටත් යන්න පුළුවන් තැනක්. උඩටම පඩිපෙල් තියෙනවා. ගුහාවක් කියන්නේ මෙහෙම දෙයක් කියලා හොද අදහසක් ගන්න පුළුවන්. හැබැයි බොහොම ටික දුරයි යන්න පුළුවන්, එතනින් එහාට ගූහාව වැහිලා. රාවණා කතාව පැත්තකට දැම්මත් ප්රාග් ඓතිහාසික මානවයින් මෙතන හිටියා කියන්න නම් පුළුවන් වෙන්න ඕන.
2.නිල්දිය පොකුණ – රාවණා ගුහාව
මේක තියෙන්නේ ඇල්ලෙ ඉදන් වැල්ලවාය පැත්තට යද්දී හම්බෙනවා කරදගොල්ලෙන් අබදණ්ඩේගමට තියෙන පාර. අන්න ඒ පාරේ කිලෝ මීටර් 5 වගේ යද්දී හම්බෙනවා නිල් දිය පොකුණට යන පාර. අපි යද්දි නම් මෙතන හරි නිස්කලංකයි. ඒ ලගම කොල්ලෙක් අපෙ ගයිඩ් විදියට ආව. අපි පොඩි ගානක් දුන්නා. හැබැයි දැන්නම් එතන වෙනම ටිකට් සෙන්ටර් එකක් ගහලා තියෙනවා. එක්කෙන්ක්ගෙන් 1500 ක් වගේ ටිකට් එක. ( ඒක හරියටම කන්ෆර්ම් කරගන්න ඕන, ඇතින් දැක්කේ ටිකට් එකක ගාන ). මේක හරි අපූරු ගුහාවක්. පොඩි සිදුරකින් බහින්න තියෙන්නේ, ඉස්සෙස්ලාම කඹීක වගේ එල්ලිලා අඩි දහයක් වගේ බහින්න ඕන. ඒක සාමාන්‍ය ශරීරයක තරමට වගේ තියෙන විවරයක්. මේකෙන් බැස්ස ගමන් තරමක් විවෘත ප්‍රදේශයක්. ඉන් එහාට කපොල්ලකින් යනවා වගේ තමා. පල්ලෙහාට ලොකු බෑවුමක්. යන්න තියෙන පාරත් ටිකක් ලිස්සනවා. හැබැයි හරියට වාරුවට ගියොත් ලොකු සන්ත්රෑසියක් නෑ. කොහොමත් ලොකු කල්පනාවෙන් යන්න ඕන. අඩියෙන් අඩියට ඒ යන මාර්ගය වෙනස් වෙනවා. එක එක විදියෙ භූ සිතියම්. මේ ගුහාවේ ඇතුලේ වාතාශ්‍රය පිරිසිදුයි. හුස්ම ගන්න එහෙම අපහසුවක් එන්නෙ නැහැ. හැබැයි දැන් කොහොමද දන්නෙ නැහැ. මන් කියන්නේ අවුරුදු පහකට කලින්. කිලෝ මීටර් එක හමාරක් වගේ පල්ලෙහාට ආවම හම්බෙනවා පුදුම පොකුණක්. මේකේ වතුර නිල්ම නිල් පාටයි. වතුර ගොඩක් පිරිසිදුයි. ඒ නිසා අඩි හැටක් වගේ ගැඹුරු පතුලත් අත ලගම පේනවා. අපිත් එක්ක ගිය අනෙක් තුන් දෙනාම ඒකී පීනුවා, මගේ ජාත්‍යන්තර පිහිනීමේ හැකියාවන් නිසා මට කකුල විතරක් අර වතුරෙ ඔබාගෙන සෑහෙන්න උනා. ඒත ඒක මාරම සනීප වතුරක්. ඒ නිල්දිය පොකුණෙ ක්‍රියාකාරිත්වය පෙන්නන රූපෙකුත් මේත් එක්කම තියෙනවා. යනවනම් යන්න ඕන ගයිඩ් කෙනෙක් එක්ක අනිවාර්යෙන්ම.
3. ඌව පරණගම ස්ත්‍රී පුර ගුහා.
වැලිමඩින්, ඌව පරණගමට එන්න ඕන. එතන ඌව පරණගම පන්සලේ ඉදන් තමා ස්ත්‍රී පුර කන්දට යන්න තියෙන්නේ. මේ ගුහාව ටිකක් විශේෂයි. ආරම්භයේ තනි ගුහාවක් වගේ තිබුණට ක්‍රම ක්‍රමයෙන් එකින් එක බෙදෙනවා. පටන් ගත්ත ගමන් ගුහා දෙකකට, ඊළග ගුහාව තව දෙක්කට ඔහොම ඔහොම ගහක මුලක් වගේ. හරිම සංකීර්ණණයි. කොහේ හරි එක තැනක පාර වැරදුනොත් ආයේ එනවා බොරු. ගමේ අය කියන්නේ මේවා රාවණා ගුහා කියලා. ආරක්ෂාවට සහ සතුරන්ට පහසුවෙන් ලගා නොවෙන්න මේ විදියට ගුහා කටවල් එකින් එක හදලා තියෙනවා. කොහොමහරි මේ ගුහාවට යද්දී අනිවාර්යෙන්ම, නූල් පන්දුවක්, ලොකු එළියක් එක්ක තියෙන පන්දමක් සහ හුස්ම ගැනීම පහසු කරවන ක්‍රමයක් හදන් යන්න ඕන. මේ ගුහාවේ වවුලෝ පිරිලා, වවුල් වසුරු වලට ඇමෝනියා සැර උපරිමට. අනෙක මැණික් කටුවටත් අඩියක් විතර උඩට වවුල් වසුරු වල එරීගෙන තමා සමහරක් තැන් වලින් යන්න ඕන.
මෙතන ඒ කාලේ ගුහා තුනක් තිබිලා තියෙනව. අපි යද්දි තිබ්බේ එකයි. ඒත් මීට අවුරුදු දහයකට විතර කලින්. එක ගුහාවක් මෑතකදි වැහුනා කියලා හිතාගන්න පුළුවන් මට්ටමේ තිබ්බා. මේකට යන්න තියෙන්නේ පොඩි විවරයකින්. එතනින් බැස්සාම හිතාගන්න බැරි ලොකු ඉඩක්. හරියට වෙදිකාවක් වගේ. එහෙම නැත්නම් මිනිස්සු එකතු වෙන තැනක් වගේ. ඔන්න එතනින් ගුහාව දෙකට බෙදෙන්න පටන් ගන්නවා. මේක තරමක් සංකීර්ණ ගමනක්. ගොඩක් වෙලාවට බඩ ගාගෙන, ගල් පතුරු අස්සෙන් රිංගන් සෑහෙන්න කට්ටක් කාලා යන්න වෙන ගමනක්. හිතාගන්න බැරි තැන් වලින් ලිස්සනවා. හැබැයි නිල්දිය පොකුණෙ වගේ ප්‍රපාත නෑ. නිල්දිය පොකුණ ගුහාව ස්භාවික නිර්මාණයක් කියලා බැලූ බැලමට පෙනුනත් ස්ත්‍රී පුර ගුහාව එහෙම නැහැ. ඒක මිනිස් නිර්මාණයක්, කොටින්ම ස්වභාවික ගුහා මාර්ගයක් මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට හදලා. අපිට මේවා අතිශය දුශ්කර උනාට ඒ කාලේ අයට කිරිකජු වගේ ඇති. ගුහා විතරක් නෙමේ. කදුත් එහෙමනෙ. අද අපිට ලේසියෙන් ලගට යන්නවත් බැරි කුරුළු ගල කන්දේ ඒ කාලේ චිත්‍ර ඇදලා. ඒවා හරි පුදුම වැඩ.
මේ ගුහාවේ ඉස්සරහට යන්න යන්න කැරපොත්තෝ විමානයයි, ඔක්කෝටම වඩා වවුලෝ. ගුහාවේ කට ඉස්සරහට යන්න තිබ්බත් අපිට යන්න පුළුවන් උනේ මීටර් සීයක් වගේ. ලොකුම හේතුව වවුල් වසුරු නිසා තිබ්බ අධික අමෝනියා සැර. අපි අර දුර ආවෙත් කොළ අතු එල්ලන්. එතනින් එහාට යනවනම් ඔක්සිජන් ටැංකියක්වත් එල්ලන් යන්න ඕන. ඒ වගෙම ඉන් එහාට යන්න අමාර්යුයි, වවුල් වසුරු වල කකුල දණහිසට විතර එරෙනවා. යන්න තියා හිතන්නත් බැහැ.
ලොකුම දුක තමා මේක කියවන ඔයාලට කවදාවත් ආයේ ඒ ගුහාවට යන්න වෙන්නෙ නැති එක. ඒ ගුහාව දැන් වැහිලා. ගමේ අය කියනේ නිධන් හොරු පැනල අනවශ්‍ය කැනීම් කරලා ගුහාව කඩා වැටුනා කියලා. ඒව අතිශය සංරක්ශනය කරන්න ඕන තැන්. ඒත් කාගෙවත් අවදානයක් නැතිව අනාගතේට නැත්තටම නැති වෙලා ගිහින් මේ වෙද්දිත්.